ශ්‍රී ලංකාවේ ස්වභාවය කුමක්දැයි විදේශිකයකුගෙන් විමසුවහොත් බොහෝ දුරට ලැබෙන පිළිතුර වන්නේ ආගන්තුක සත්කාර දන්නා බොහෝ සුහදශීලි මානුෂීය සමාජයක් ඇති රටක් ලෙසය. මේ අප රටේ හොඳ පැත්තය. අනෙක් පැත්ත නම් ශ්‍රී ලංකාව යනු සට කපට මිනිසුන් වෙසෙන දූෂණයෙන් පිරුණු අසාධාරණය රජ කරන රටක් බවයි. අපේ වාසනාවට හෝ අවාසනාවට අප රට තුලද සෞන්දර්යය, කලාව යැයි යමක් ඉතිරිව පවතින බව අප දනිමු. නමුත් සහෘදය මෙහි ඛේදවාචකය නම් මෙම කලාවන් තුලටද ඉහත දෙවන පාර්ශවයෙහිලා මා සඳහන් කල දූෂණය හා අසාධාරණය යන පිළිලයන් එකසේ පැතිරී තිබීමයි.
ඔබ අප දන්නා අන්දමට අප රටේ කුඩා ළමුන් වෙනුවෙන් ඉදි වූ රංග ශාලා හෝ රංග පාසැල් නොමැත. නමුත් දරුවන්ගේ සෞන්දර්යාත්මක පාර්ශවය සංවර්ධනය කිරීම උදෙසා හා ළමයාගේ දැණුම, ආකල්ප හා කුසලතා යන අංග තුන සංවර්ධනය කිරීම සඳහා ද යම් රුකුලක් ලබා දීමට අපේක්ෂා කරමින් චන්ද්‍රසේන දසනායක මහතා අප රට තුල රාජ්‍ය ළමා නාට්‍ය උළෙල යැයි වර්ෂයක් පාසා පැවැත්වෙන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ඇරඹීය. චන්ද්‍රසේන දසනායක මහතා අපේක්ෂා කල ඒ උතුම් අපේක්ෂාව පළුදු වන යම් යම් නොමනා ලක්ෂණ ළමා නාට්‍ය උළෙල තුල මතුවී ඇත.
රාජ්‍ය ළමා නාට්‍ය උළලේ විවෘත අංශය හා සීමිත අංශය යනුවෙන් තරග අංශ දෙකක් පැවැත්වෙන අතර එයින් සීමිත අංශය සඳහා ඉදිරිපත් විය හැක්කේ පාසැලේම ගුරුභවතෙකු හෝ ශිෂ්‍යයකු විසින් නිර්මාණය කරන ලද නාට්‍යය පමණි. මෙම අංශයෙන් අවසන් වටය කරා පැමිණෙන ඉතා දුෂ්කර පාසැල් වල අහිංසක දුප්පත් දුවාදරුවන්ට නිසි ඇගයීමක් ලැබෙනවා ද යන්න පෙහෙලිකාවකි. බලංගොඩ, අනුරාධපුරය, දෙහිඅත්තකන්ඩිය, මාතර වැනි දුෂ්කර ප්‍රදේශ වල පාසැල් වලින් පැමිණෙන නාට්‍ය නිර්මාණකරුවන් තම නිර්මාණය අවසන් වටය දක්වා ගෙන ඒමට අපමණ වෙහෙසක් දරයි. ඒවා අවසන් වටය තෙක් පැමිණිමද භාග්‍යක් යැයි මම සිතමී.
මෙවැනි දුෂ්කර ප්‍රදේශවල සහෘද නිර්මාණකරුවන්, පාසැල් ප්‍රජාව හා දූ දරුවන් තම ස්වකීය නිර්මාණය උස් මහත් කර ගන්නට දහදිය, කඳුළු, ලේ අනන්තව හෙලනු ලබයි. ආර්ථික අතින් වැඩි සක්‍යතාවක් නොමැති හේන් වගාවෙන් හෝ වෙනත් කිසියම් ක්‍රමයකින් එදාවේල සරිකර ගැනීමට මහත් වෙහෙසක් දරණ දෙමාපියන්ගේ දරුවන් වන මොවුන් කෙසේ හෝ උස් මහත් කරගෙන කොළඹ පවත්වන අවසන් වටයට ගෙන ආ තම නාට්‍යයට තරඟ වදින්නට වන්නේ නගරයේ ජනඃප්‍රිය පාසැල් සමගයි.
දුෂ්කර පලාත්වල නිර්මාණ කරුවන් අති දුෂ්කරතා වලට මුහුන දෙමින් නිර්මාණ කරන නමුත් නගරයේ ජනඃප්‍රිය පාසැලේ මීට හාත්පසින්ම වෙනස් ක්‍රියාලියක් සිදුවේ. බොහෝ ජනඃප්‍රිය පාසැල්වල නිර්මාණාත්මක මනසක් ඇති නිර්මාණ කරුවන් විරල ය. එබැවින් ඔවුන් සිදු කරන්නේ තම සම්බන්ධතා මගින් නාට්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීන පළපුරුදු අත්දැකීම් බහුල නිර්මාණ කරුවන් මුදලට ගෙන ඔවුන් ලවා නාට්‍ය නිෂ්පාදනය කර තම පාසැල නමින් තම පාසැල නියොජනය කරමින් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට ඉදිරිපත් කිරීමයි. අපේ රටේ අති උතුම් යැයි කියාගන්නා කලාකරුවෝ ද මෙම කුප්‍රකට ක්‍රියාවලිය හමුවේ මුදලට විකිණෙන තත්ත්වයක් දැන් දැන් උද්ගත වෙමින් පවති. ගම්පහ දිස්ත්‍රිකයේ මීගමුවට ආසන්න ජනඃප්‍රිය බාලිකා පාසැලක සෑම වර්ෂයක් පාසාම රාජ්‍ය ළමා නාට්‍යය උළෙල සඳහා ඉදිරිපත් වීමේදී මෙම කුප්‍රකට ක්‍රියාවලිය සිදුවෙමින් පැවතීම මෙයට එක් නිදසුනකි. අවසානයේ දී දුක් කම් කටළු මැදින් කොළඹට ආ නාට්‍යයත් මුදලේ බලයෙන් නිපදවූ නාට්‍යයත් එකම වේදිකාවක එකම අංශය නියෝජනය කරමින් තරඟ වදියි. මුදලේ අරුමෝසමින් හැඩවු නාට්‍යය දකින විනිශ්චය මණ්ඩලය යම්කිසි විපර්යාසයකට ලක්වන බව ද නොරහසකි. මෙහිදී සිදුවන්නේ මුදලේ බලයෙන් ප්‍රවීණයන් ලවා නාට්‍යය නිෂ්පාදනය කරවාගත් ජනඃප්‍රිය පාසැල් සම්මාන තමන් සතුකර ගැනීමත් අන්ත දුක් පීඩා මැදින් සැබැ නිර්මාණයක් කල දුෂ්කර පාසැල් වල අහිංසක දුප්පත් දූදරුවන් ඇතුළු ගුරුභවතුන්ට සෝ සුසුම් පමණක් හිමි වීමය.
මෙයද අපේ දරුවන් සඳහා ඇති රාජ්‍ය ළමා නාට්‍ය උළෙල?
Saturday, February 16, 2008
අනේ අපේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල
අකුරු ඇමුණුම රවින්ද්‍ර රණවීර at 8:03 AM
Labels: රාජ්‍ය ළමා නාට්‍ය උළෙල
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment