Friday, April 4, 2008

සොකරි නාට්‍ය කලාව

අපේ නාට්‍ය කලාවේ මූල බීජය හට ගන්නේ දේශිය ශාන්තිකර්ම වල බව අපි දනිමු.ශාන්තිකර්ම වල නාට්‍යමය ලක්ෂණ අනූනව පැවත් බව අද ද ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. ශාන්ති කර්ම වලින් මදක් මෙපිටට ආ විට අපට ශාන්තිකර්මත් සංවිධිත නාට්‍ය කලාවත් අතර තැනක සොකරි නාට්‍ය කලාව මුණගැසෙයි. මා එසේ ප්‍රකාශ කරන්නේ සොකරි වල ශාන්තිකර්මයක ලක්ෂණත් නාට්‍යමය ලක්ෂණත් සම්මිශ්‍රව පැවති නිසාය.

කෙසේවෙතත් සොකරි නාට්‍ය අපට ලංකාවේ හමුවන පැරණිම ගැමි නාට්‍ය ලෙස සැලකිය හැක.මෙය ව්‍යාප්තව පවතින්නේ උඩරට,රත්නපුරය,වන්නිය යන පළාත් වලය.අද වන විට මේවාට ඉතා ඉහල අධ්‍යාපනික වටිනා කමක් ලැබි ඇති බැවින් බොහෝ උසස් අධ්‍යාපන ආයතන මගින් සොකරි රංඟ ගත කිරීමට කටයුතු සංවිධානය කරනු දක්නට ලැබෙ.

මෙහි සොකරි යන පදය විග්‍රහා කර බැලිමේදි එය "චොක්‍රී" යන මරාටේ පදයෙන් බිඳි ආවකැයි සැලකේ. මෙහිදි සොකරි යනු ඉතා රූමත් කාන්තාවකි. ඇය මෙහි කතා නායිකාවද වෙයි මෙම සොකරි නාටක කොහේ රඟ දැක්වුවද රඟ දක්වන්නේ එකම කතා පුවතකි. මෙහා බැදුන කතා පවත් කිහිපයක්ම ඇත මෙ‍වා අතර යම් යම් වෙනස් කම්ද පවති. මෙය නිශ්චිත කතා පුවත යැයි කිසිවෙකුට කිව නොහැක. නමුත් සංක්ෂිප්ත අර්ථයක් ලෙස ගත් විට සොකරි කතා පුවත ඉතාකෙටියෙන් මෙසේය.

ගුරුහාමි යන්ත්‍ර මන්ත්‍ර දන්නා ඉංදියාවේ පඬි රට සිටි ආඬ් ගුරෙකි ඔහු සොකරි නැමති ලාබාල රූමත් තරුණිය විවහා කර ගනී. නමුත් ඔවුන්ට දරු ඵල නොමැති නිසා දරු ඵල ලබාදෙන ලෙස කතරගම දෙවියන්ට බාරයක් වීමට ඔවුන් තම දාසයා වන පරයාද කැටුව නැව් නැග ලංකාවට පැමිණේ. මෙසේ පැමිණෙන ඔවුන් ලංකාවේ තඹරා විට නම් ගමේ නවාතැන් ගැනීමට තැනක් සොයා අවසන එ ගම වෙදරාළගේ ඉඩමක පැලක් තනා පදිංචි වෙයි. දිනක් වතුර ගෙන ඒම සදහා වෙද රාළගේ ගෙදරට යන ගුරුහාමීව වෙද රාළගේ බල්ලා සපා කනු ලබයි. මෙයින් රෝගාතුර වන ‍ගුරුහාමිට ප්‍රතිකාර කිරිමට වෙදරාළව කැඳවාගෙන ඒමට පරයා යන නමුත් වෙදරාළ පරයාව එලවාගනි. පසුව සොරිය ගොස් වෙදරාළ කැඳවාගෙන එනු ලබයි. රැයක් පහන් වන තුරුම ගුරුහාමිට ප්‍රතිකාර කරන වෙදරාළ අළුයම සොකරි සමග පලා යයි. පසුව ගුරුහාමි සොකරිය සොයා ගොස් සමාදාන වී ඇය නිවසට කැඳවාගෙන එයි පසුව ඇ දරු ඵල ලබයි. අනතුරුව ඔවුන් තම රට බලා පිටත් වෙයි. සොකරි කතා පුවත සංක්ෂිප්තව එසේය.සෑම තැනකම රඟදක්වන්නේ මෙම කතා පුවතයි.

මෙම සොකරි නාටක බහුලව රඟදක්වන ලද්දේ ගොවියන් තම අස්වැන්න නෙලා ගෙට ගත් පසු වැඩ නිම වු කමතේය. ඔවුන් සොරි සදහාම සුවීශේෂි ක්‍රමයකට කමත සකසනු ලැබේ කමත මැද වංගේඩියක් තබනු ලබන අතර එයින් සශ්‍රීකත්වය සංඛේතවත් කරයි.(රංඟ භූමියේ දල රූප සටහනක් පහත දක්වා ඇත.)


සොකරි නාට්‍ය යනු කුමක් දැයි හදුනාගත් අප දැන් එහි රංඟශෛලිය ගැන සරළ අධ්‍යනයක යෙදෙමු. මෙම සොරි රඟදක්වන්නේ කමතක බව ඉහතින් සඳහන් විය. මසේ සූදානම් කල කමතේ රඟදක්වන සොකරී නාට්‍ය සදහා රංගනයෙන් දායක වන්නේ පිරිමින් පමණකි. මෙහි ගැහැණුන් රංඟනය නොකල අතර ස්ත්‍රී චරිත පිරිමින් විසින්ම රඟදක්වන ලදි. ඔවුන් ඒ සදහා ස්ත්‍රී ඇඳුම් ආයිත්තම් වලින් සැරසි සිටියහ.(වීඩියෝ දර්ශනයක් අමුණා ඇත)


තවද සොකරි රංග ශෛලිය සම්පූර්ණවයන්ම අනුරූපණ මාධ්‍ය,අනුකරණය භාවිත කල රංග ශෛලියකි. මෙහි සියළුම අවස්ථා ප්‍රෙක්ෂකයාට පෙන්වුයේ අනුකරණය මගිනි.
උදා:- ගුරුහාම් ඇතුළු පිරිස ලංකාවට පැමිණිම සදහා භාවිත කරන නැව සැදිමේ අවස්ථාව මෙසෙ අනූරූපණ මාධ්‍යයෙන් ඉදිරිපත් කරයි. එනම් ගස් කැපීම,ලී ඉරීම,නැව සැදීම ආදි අවස්ථා නළුවන් ‍රඟ මඩලේ අනුකරණයෙන් කර පෙන්වයි මේ අතර මෙම කාර්යයන් ගැන කියැවෙන කවි ගායනා කරනුද දක්නට ලැබෙ. මෙසේ සොකරි නාට්‍ය මුල සිට අග දක්වාම සියළුම සිද්ධි,අවස්ථා අනුකරණයෙන් කර පෙනවනු ලැබේ. ගුරුහාම් ඇතුළු පිරිස මුහුදු 7ක් තරණය කර ලංකාවට පැමිනෙන බව නළුවන් රඟ මඩලේ අනුකරණය කරන අතර කවියෙන් එය විස්තර වන්නේ මෙසේය.

මහා මහුදට නැව ඇවිත් බසින්නේ
මහා මුහු‍දෙ නැව ගමනි බොලන්නේ
ගොළු මුහුදට නැව ඇවිත් බසින්නේ
ගොළු මුහු‍දෙ නැව ගමනි බොලන්නේ

කළු මහුදට නැව ඇවිත් බසින්නේ
කළු මුහු‍දෙ නැව ගමනි බොලන්නේ
කර මහුදට නැව ඇවිත් බසින්නේ
කර මුහු‍දෙ නැව ගමනි බොලන්නේ

මේ ආකාරයට සොකරිය වීවෙලීම,ගෙපල තැනීම,මැටි ගෑම ආදි අවස්ථාද අනූරූපණයෙන් ඉදිරිපත් කරන අතර ඒ ගැන කියැවෙන කවි ගයනා කරනු ලැබෙ.

එමෙන්ම මෙම සොකරි නාටක තුළදි එක් එක් චරිත රංඟාවතරණය කරන විට (රඟපෑමට වේදිකාවට එන විට) එම චරිත හදුන්වා දීමට ඒ ඒ චරිත සඳහාම නිර්මිත කවි ගායනා කරනු ලැබේ මෙහිදි නළුවා වෙදිකාවට පැමිනෙන අතර කවි ගායකයන් එම චරිතයට අදාල කවිය ගයනා කරමින් ප්‍රෙක්ෂකයාට චරිතය හදුන්වාදෙයි.

පළමුවෙන්ම රඟමඩලට පැමිනෙන්නේ වෙද රාළය. ඔහු කුදු ඉතා අවලස්සන අයෙකු බවත් ගත ඉතා දුර්වලව ගිය අයෙකු බවත් මෙම කවියෙන් කියැවේ.

වෙදා නටන්නේ පළමුව සබේට එන්නේ
යොදා කියන්නේ තාලෙට ගත වෙව්ලන්නේ
කුදා වැනෙන්නේ සබයේ කොක් හඬලන්නේ
විදා පාන්නේ අත් දෙක තෑගි කියනනේ

මෙසේ තුන් වන වරට රඟ මඩලට පිවිසෙන්නේ පරයායි ඔහු ප්‍රේක්ෂකයාට හාස්‍ය රසය උපදින ආකාරයට රංඟනයේ යෙදෙයි. පරයා කවියෙන් විස්තර වන්නේ මෙසේය.

ඉතින් කියන්නේ තුන්වන වරට නටන්නේ
පරයයි එන්නේ වට පිට නිතර බලන්නේ
කට දෙඩවන්නේ ගිය ගිය තැන පෙරළන්නේ
කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ

තුනවන වරට රඟ මඩලට එන පරයා නටන අතර වට පිට බලමින් හාස්‍ය මතු කරන බවත්, හැම විටම කියවමින් යන යන තැන පෙරළියක් කරන බවත්, සොරියට ඉඟි බිඟි පාන බවත් මෙම කවියෙන් කියැවේ.

සොකරි කතා පුවතේ ප්‍රධාන චරිතය වන සොකරිය රඟ මඩලට එනවිට ඇය ගැන කියැවෙන කවිය මෙසේය.


සොකරී එන්නි සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නි පියයුරු ලැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී

අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩය ගොතා හෙලන්නී
තෝඩු දමන්නී පවලම් මාල බඳින්නී
සේල අදින්නී පටකින් ඔමරි කරන්නී

ඉහත කවි ගායනා කිරිම මගින් සොකරිය ගැන යම් අදහසක් ප්‍රේක්ෂකයාට ලබා දීමට උත්සහා දරන බව පෙනියයි. සොකරියගේ චරිත ලක්ෂණ මෙම කවි වලින් කියැවෙන්නේ එබැවි

දැන් අප මෙතෙක් කථාකල සොකරි නාටක වල ඇදුම් නිර්මාණ ගැන විමසා බලමු. මෙම පරිච්චේදයෙන් සොකරි නාට්‍යයේ ඇදුම් ගැන දීර්ඝවිස්තරයක් කිරිමට මා බලාපොරොත්තු නොවෙමි ඔබගේ දැන ගැනීම පිණිස ඉතා කෙටියෙන් එහි ඇදුම් නිර්මාණ ගැන සදහන් කරමි.

ආඬිගුරු :-
උඩරට නර්තන ශිල්පියෙකුගේ යටි කය ඇදුමට ගොක් කොල වලින් නිර්මිත වෙස් තට්ටුවක් භාවිත කරයි ඉංදීය බමුණෙකු ලෙස පූන නුලක් බැඳ නලලේ ඉරි ඇඳ මොනර පිල් හිසේ ගසාගෙන සිටින අතර සමහර අවස්ථා වල පොතක් අතින්ගෙන සිටියි.

සොකරි:-
ඔසරියක් හැඳ ආභරණ පැළඳ සිටියි.

පරයා:-
බම්බු කොට කලිසමක් හැඳ ශරීරයේ උඩ කොටස විවෘතව ඇත, අතේ කොටුවක් දක්නට ඇත.

වෙදරාළ:-
සුදු වේට්ටියක් ඇද උඩට සුදු මේස් බැනියමක් අඳියි රැවුලක්ද දක්නට ඇත.


මෙසේ කවි වලින්, ඇදුම් වලින්, රංඟනයෙන් අලංකෘත සොකරි එදා රඟ දැක්වුයේ කුමන පරමාර්ථයෙන් දැයි විමසීම වටී.

සොකරි නාට්‍ය දෙස බැලූ බැල්මට පෙනි යන්නේ එය ප්‍රෙක්ෂකයාට හාස්‍ය මතු කිරිමට රග දැක්වු සෙයකි. එහිද සත්‍ය තාවයක් නැතුවාම නොවේ මන්ද යත් අනේක දුක් විඳ තම කුඹුරු රැක බලාගෙන අපමන වෙහෙස වී සිටින ගොවීනට මෙම සොකරි තුළින් යම් මානසික විශ්‍රාන්තියක් ලබා දීමට අපේකෂා කරමින් මෙය හාස්‍ය මතු කිරිමට යොදා ගත්තා විය හැක. මෙම සොකරි තුළ දෙපැත්ත කැපෙන සංවාද භාවිත කර තිබේ. කුණුහරුප වචන භාවිත කිරිමත් , ශෘංගාර රසය මතු කිරිමත් දක්නට ලැබේ. මෙමගින් පෙනි යන්නේ ගොවියන්ගේ මනසට යම් විවෙකයක් ලබා දීමට යම් විනොදාස්වාද මාධයක් ලෙස සොකරි භාවිත කල බවයි.

නමුත් එතැනින් එහා ගිය පරමාර්ථ මෙම සොකරි නාටක තුළ පැවති බවනම් පැවසිය යුතුමය. සොකරි හුදු විනොදය සදහාම පමණක් යොදා ගත් නාටකයක් නොවිය ‍එනම් මෙතුළින් ගමට රටට සශ්‍රීකත්වය ලඟා කර ගැනීමේ අරමුණ ද ඉටු කර ගැනිමට බලාපොරොත්තු විය. මෙම සොකරි නාට්‍ය තුළ ද දරුවෙකු බිහිවෙයි මෙම දරු ප්‍රසූතිය තුළින් සංඛෙතවත් කරන්න සශ්‍රීකත්වයම නොවේද? අනෙක් අතට මෙම සොකරි වෙදිකාව තුළ භාවිත වන එකම රංඟ භාණ්ඩය වන්නේ වංගෙඩියයි මෙයද ඔවුන් සශ්‍රීකත්වයේ සංඛෙතයක් ලෙස සලකන ලදි. මෙම සොකරි නාටක අවසන කිරි උතුරවනු ලබයි එයින්ද මතු වන්නේ සශ්‍රීකත්ව සංකල්පයමයි.

මෙම සොකරි අවසානයේදි ගමටත් රටටත් තම අස්වැන්න්ටත් සෙත් පතා ඒවා ආරක්ෂා කර ගැනිමේ අරමුණින් සෙත් පතා මෙවැනි කවි ගායනාද අඩංගු විය.

ගව සම්පත් බෝ වේවා
ගහ කොළ පලදා වේවා
ගජ කුළු බිය නැතිවේවා
ගණ දෙවි නුවණක් දේවා

සොකරි නාටක පිළිබඳව පර්යේෂණ කල විජේසිංහ මහතා සමස්ථ සොරියම සංසර්ගය සංඛෙතවත් කරන බව පවසයි. පරයා අත තිබෙන ලී කැබැල්ල, සොකරි වෙද රාළ හා පැන යාම, දරුවෙකු ලැබීම ආදී අවස්ථා විශේෂ අවස්ථාවන්ය. එමෙන්ම පොළව නැමති කාන්තාව පුරුෂයන් නැමති ගොවියන් සමග සංසර්ගයේ යෙදිමෙන් සශ්‍රීකත්වය නැමති දරුවන් ලැබිම මින් මතු කරන සශ්‍රීකත්ව ලක්ෂණයකි.

මෙතෙක් අප කථා කලේ ලංකා නාටය කලාව තුළ අපට හමුවන පළමු ගැමි නාටක විශේෂය වන සොකරි නාටක ගැනයි. මාගේ මෙම සටහන තුළින් හැකිතාක් දුරට සොකරි නාටක පිළිබඳ නිවැරදි තොරතුරු සංෂිප්තව ඉදිරිපත් කර ඇත එබැවින් ඔබට සොකරි ගැන තවත් වැඩිදුර තොරතුරු දැන ගැනීමටනම් ඒ සම්බන්දයෙන් ලියැවුනු පොත පත ආශ්‍රය කිරිමට සිදුවනු ඇත.

Wednesday, April 2, 2008

නාට්‍ය ජවනිකා කිහිපයක් ඡායාරූප නරඹමූ




මෙම රූප රාමූ ඇතුලත් වන්නේ 2006 වර්ෂයේ අන්තර් විද්‍යාපීඨ නාටය තරඟ සඳහා වයඔ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ නාට්‍ය හා රංඟ කලාව අධ්‍යනාංශය ඉදිරිපත්කල "පිටාරය" කෙටි නාට්‍යයේය.

Saturday, March 15, 2008

නූර්තී නාට්‍ය කලාව

ශ්‍රී ලංකාවේ වර්තමාණයේ අප වේදිකාවේ දකින නූතන නාට්‍ය මෙතෙක් ආ ගමන් මග දෙස නැවත බැලීමේ දී සන්ධිස්ථාන රැසක් පසුකල බව අප දන්නා කරුණකි. ශාන්තිකර්ම වලින් ආරම්භ වන අප නාට්‍ය කලාව මෙතෙක් පැමිණිමේදි පසුකල එක් සුවිශේෂී සන්ධිස්ථානයකි නූර්තී නාට්‍ය කලාව. 1750 දී පමණ ලංකාවේ නාඩගම් යැයි තරමක් දියුණු නාට්‍ය කලාවක් ඇරඹුණි. නමුත් මෙහි පැවති යම් යම් අඩු පාඩු හේතුවෙන් ජනතාව කෙමෙන් එයින් දුරස් වන්නට විය. කෙසේ වෙතත් මෙම නාඩම් නාට්‍ය එදා ජනයා අතර ඉතාමත් ජනප්‍රියව පැවති බවනම් නොරහසකි.

කාලයාගේ ඇවෑමෙන් ඉංදියාවේ සංචාරය කරමින් සිටි පාර්සි ජාතිකයෙකු බලිවාලා නැමැත්තාගේ නාට්‍ය කණ්ඩායම 1877 දී ලංකාවට සේන්දු වී එකල පිටකොටුවේ පැවති ෆ්ලවර් හෝල් ශාලාවේ තම නිර්මාණ තෙමසක් පුරා පෙන්වා ඇත. ඔවුන් පෙන්වු නාට්‍ය වුයේ ඇලඩිං, ඔතැලෝ, හරිස්චන්ද්‍ර, අරාබි නිසොල්ලාසය ආදියයි. මෙම රංග ශෛලිය නුර්ති නමින් හඳුන්වන ලදි. මෙම නූර්ති යන වචනය විග්‍රහ කිරිමේදි මෙම වචනය සංස්කෘත භාෂාවේ නෘත්ත යන පදයෙන් බිඳි ආවක් සේ සැලකේ. නෘත්ත යනුවෙන් හඳුන් වන්නේ අදහස් ප්‍රකාෂ කිරීම සදහා යොදාගන්නා නර්තනයයි. අප නාට්‍ය කාලාවේ සුව්ශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මේ ආකාරයට නුර්ති නාට්‍ය ලංකාවේ ආරම්භය සිදු වෙයි.

බලිවාලා ඇතුළු පිරිස මෙසේ නාට්‍ය පෙන්වන විට ජනතාව එම නාට්‍ය කරා ඇදි එන්නට විය. එමෙන්ම මෙම නාටය නැරඹූ උගත් බුද්ධිමත් පිරිස මෙවා ආශ්‍රයන් දේශිය නූර්ති නිර්මාණය ඇරඹීය. ලංකේය නාට්‍ය වංශයේ මුලින්ම හමුවන දේශීය නූර්ති නිර්මාණ ශිල්පියා වන්නේ C. දොන් බස්තියන් මහතාය. ඒ මහතා ලංකාවේ ප්‍රථම නූර්තිය වන "රොලීනා" නැමති නූර්තිය රචනා කරමින් එම ගෞරවය හිමි කර ගත්තේය. මෙය 1978 දී පමණ රචනා විය. එතැනින් නොනැවතුනු එතුමා තවත් නිර්මාණ රැසක්ම අපට දායාද කරන ලදි. එනම් රෝමියෝ ජුලියට්, පණ්ඩුකාභය, සිංහ බාහු, ස්වර්ණ තිලකා, පද්මාවතී හා ශ්‍රි වික්‍රම රාජසිංහ ආදි නිර්මාණයි.

මෙසේ ළදරු වියේ පැවති නූර්ති නාට්‍ය කලාව අප නිර්මාණ කරුවන් අතට පත් වීමත් සමඟ එය උස්මහත් කිරීමට වෙහෙස දැරු තවත් නිර්මාණ කරුවන් රැසක්ම අපට හමුවෙයි. මුල්ම නූර්ති නිරිමාණ කරුවා C. දොන් බස්තියන් මහතා වුවත් ජනප්‍රියම නූර්ති නාට්‍ය කරුවා වන්නේ නීතීඥ ජෝන් ද සිල්වා මහතා. ලංකා නාට්‍ය කලාවේ පියා ලෙසද මෙතුමා සලකනු ලැබේ. පරදේශිය ගතිගුණ විවේචනය කරමින් ලාංකික ජනයා තුළ ‍දේශාභිමානි හැගීම් අවුලවා ලීම සදහා මෙතුමා නිර්මාණකරනයේ යෙදුණි. මොහුගේ නිර්මාණ අතර රාමායණය, සිරිසඟබෝ, දස්කොන්, පරංගි හටන හා වළගම්බා යන නිර්මාණ කැපි පෙනෙයි.

මෙ‍සේ මෙම නාට්‍ය කලාව ලංකාවේ මුල්බැස ගැනීමත් සමඟම තව තවත් ව්‍යාප්ත වන්නට වු අතර ඒ සදහා අවශ්‍ය පසුබිම ලංකාව තුළ නිර්මාණය වන්නටද විය. ඒ වන තෙක් පැවති ගැමී නාට්‍ය ආදිය පෙන්වීමට නිශ්චිත තැනක් නොතිබුණු නමුත් නූර්ති පෙන්වීම සදහා ස්ථාවර රංඟ ශාලා අවශ්‍යවු බැවින් තැන තැන ස්ථාවර රංඟ ශාලා ඉදිවන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1911 දී නූර්ති සමග බිහිවු ප්‍රථම රඟහල ලෙස ටවර් හෝල් රඟහල ඉදිවුණි. මෙම රඟහල තුළ චාල්ස් ඩයස් මහතාගේ සියළුම නූර්ති පෙන්වන ලදි.

අප මෙතෙක් කථා කලේ නූර්තිය ආරම්භය ගැනයි. දැන් අප මෙම නූර්ති නාට්‍ය රංඟ ශෛලියේ විශේෂ ලක්ෂණ ගැන සලකා බලමු. ඉහත සාකච්ඡා කල කරුණු අනුව මෙතෙක් පැවති අපේ ගැමි නාට්‍ය නව මුහුණුවරක් ගනු ලබන්නේ නූර්ති පැමීණිමත් සමගය. මෙයට හේතුව ලෙස මා දකින්නේ මෙම නාට්‍ය කලාවටම ආවේනික වු රංග ශෛලියක් පැවති නිසා යැයි මට හැගේ. ඉඳින් අප එම සුවිශේෂි රංඟ ශෛලිය කුමක්දැයි විමසමු.

මෙතෙක් පැවති සෑම ගැමි නාට්‍යයකම පෙන්වනු ලබන්නේ කමත හෝ ඒ සඳහා විශේෂයෙන්ම සුදානම් කල එළිමහන් භූමියකය. මෙය ප්‍රේක්ෂක රසවින්දනයට යම් බලපෑමක් කල බව නිසැකය. නමුත් නූර්ති පෙන්වනු ලැබූවේ ස්ථාවරව ගොඩනැගූ ගෘහස්ථ රංග ශාලාවක හතරැස් වේදිකාවක් මතය. මේහි රූපණයේ යෙදෙන විට ප්‍රේක්ෂකයන් සිටින්නේ ඉදිරියෙන් පමණි. නමුත් කමත වැනි තැනැක රූපණය කරන විට ප්‍රේක්ෂකයන් ‍වටේම හෝ තුන් පැත්තක වාඩි ගනියි. මෙය ප්‍රේක්ෂකයාට මෙන්ම නළුවාටද තම කාර්යය නිසියාකාරව සිදුකර ගැනීමට බාධාවක් විය හැක.

එසේම සොකරි, කෝළම් වැනි ගැමි නාට්‍ය වල දී වේදිකා පසුතල භාවිත නොවීය. නාඩගම් වලද සැලකිය යුතු පසුතල භාවිත වූයේ නැත. නමුත් නූර්ති සඳහා විචිත්‍ර ලෙස නිර්මිත වේදිකා පසුතල සහිත තිර රෙදි භාවිත කරන ලදී. උදාහරණ ලෙස සිරිසඟබෝ නූර්තියේ අනුරාධපුර දර්ශණයක් සඳහා චෛත්‍යක් හා ගල්කණු කිහිපයක් ඇඳ ඇති ඉතා අලංකාර වේදිකා පසුතල තිරයක් භාවිතයට ගැණින.

එමෙන්ම මොතක් පැවති අපේ ගැමිනාට්‍ය වල සංවාද කවි ගායනා වල ස්වභාවයක් ගෙන තිබුණි. නමුත් නූර්ති වලදි මෙම ස්වභාව‍යෙන් මිදී සංවාද පද්‍යමය ස්වරූපයක් ගනු ලැබේ. මෙය ජනතාවට නවතම අත්දැකිමක් විය.

තවද නූර්ති නාට්‍ය කලාව ගැන කතා කිරිමේදි එහි රංග ශෛලීයේ එක් අංගයක් ලංකා නාට්‍ය ඉතිහාසයේ ඉතිහාස ගත වෙනසක් ඇති කරන ලදි. එනම් මේ වන තෙක් නාට්‍ය සදහා රංගන‍යෙන් දායක වුනේ පිරිම්න් පමණකි. ස්ත්‍රී චරිතද නිරූපණය කලේ පිරිමින් විසින්මය නමුත් නූර්ති වෙදිකා ගත වන විට මෙම සම්ප්‍රදාය බිදිම්න් ස්ත්‍රී චරිත ස්ත්‍රීන් විසින්ම රඟපාමින් අප නාට්‍ය ඉතිහාසයේ මුලින්ම කාන්තාවන් රංඟනයට ප්‍රවිෂ්ඨවීම සනිටුහන් කරන ලදි.

නූර්ති රංග ශෛලියේදි කවට චරිතයක් හදුන්වාදෙනු ලැබීය නාඩගම් වලදි පොතේ ගුරු හෝ කටේ ගුරු වශයෙන් ස්ථාවර පාත්‍රයෙකු රංගනය කලද නූර්ති වලදි එවැන්නෙක් නොවු අතර ඒ වෙනුවට මෙම කවට චරිතය ආදේශ කලා විය හැක. පො‍තේ ගුරුගේ කාර්යය නම් නාට්‍යයේ නොපෙන්වන කොටස් ප්‍රෙක්ෂකයාට දැනුම් දීමයි නුර්ති කවටයා යොදා ගත්තේ ප්‍රෙක්ෂකයාට හාස්‍ය රසයක් ජනිත කරවිමට විය හැක.

නූර්ති ගැන කතා කිරිමේදි ‍එ‍තෙක් පැවති ගැමි නාට්‍යවලින් වෙනස් වන ලක්ෂණ ඇති බව පැහැදිලිය. එමෙන්ම මෙයටම ආවේනිකවු තවත් සූවිශේෂි ලක්ෂණ කිහිපයක් ඔබගේ දැන ගැනීම පිණිස මතුවට සදහන් කරමි.

අප නාට්‍ය කලාව තුළ සංවිධානාත්මක පිටපතක් අපට මුලින්මබ හමු වන්නේ මෙම නූර්ති නාට්‍ය කලාව තුළය. නාඩගම් වලද නාට්‍ය පිටපතක් තිබුනද නූර්ති පිටපත එයට වඩා සංවිධානාත්මක බවින් පොහෝසත් විය.

තවද අප දේශිය ගැමි නාට්‍ය තුළ යම් ඒකාකාරී බවක් දැක්වු සංගීතයක් භාවිත වු අතර නූර්තියේදි මෙය වෙනස් විය එනමි නූර්ති සදහා කර්ණ රසායන රාග තාල ඇතුළත් උත්තර භාරතීය සංගීතය යොදා ගන්නා ලදි. මේවා කෙතරම් ජනප්‍රිය වීද යත් එකල කුඩා ළමුන් පවා මෙම ගීත කට පාඩමින් ගැයූ බව සදහන් වෙයි.

සාමාන්‍යයෙන් නාඩගම් රාත්‍රියේ ආරම්භ වී පසුදා පහන් වන තුරුම පෙන්වන ලදි. නමුත් නූර්ති නාට්‍ය දර්ශනයක් පැය 3කට පමණක් සීමාවු අතර ක්‍රමයෙන් කාර්යය බහුල වෙමින් පැවති සමාජයට මෙය අස්වැසිල්ලක් වු නිසා ජනයා මේ කරා ඇදී එන්නට විය.

නාට්‍ය ගැන කතා කිරිමේදි රංඟ ආලෝකය ගැන නම් කතා නොකරම බැරිතරම්ය මන්ද ‍යත් රංඟ ආලොකය ඒතරම්ම මෙහෙයක් නාට්‍ය සඳහා ඉටුකරන බැවිනි. සොකරි,කොළම්,නාඩගම් වලදි රංඟාලෝකය එතරම් ප්‍රබල නොවීය ඒ සදහා භාවිත කරනු ලැබුවේ පන්දම් ආදි ආලොකන ක්‍රමෝපායන්ය. නූර්ති නාට්‍ය තුළදි මේ තතත්වය වෙනස් විය ඒ සදහා සූවීශේෂි නවීන රංගාලොකන ක්‍රම භාවිත කරන ලදි.

ඉඳින් අප නාට්‍ය කලා ඉතිහාසය තුළ සූවිශේෂි සංධිස්ථානයක් සටහන් කල නූර්ති නාට්‍ය කාලාව ආරම්භ වී විකාශනය වන්නේ මේ ආකාරයටය. මෙම ලිපිය තුළින් මා අපේක්ෂා කරන්නේ ඹබගේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ දැනුම පිපාසයට එක් ජල බිඳුවක් හෝ ලබා දීමටයි. නූර්ති නාට්‍ය කලාව මෙසේ වචන ස්වල්පයකින් කතා කර හමාර කල හැකි සිද්ධාන්තයක් නොවේ එබැවින් ඹබගේ දැනගැනීම පිණිස නූර්ති ගැන ලියවුනු තවත් පොත පත පරිශිලනය කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

Sunday, March 2, 2008

වෙදිකා නාට්‍ය ගැන ගුවන් විදුලි වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව ගැන උනන්දුවක් දක්වන ඔබ හැමෝටම සුබ ආරංචියක් දෙන්නයි මේ සූදානම. දේශීය නාට්‍ය කලාව පිළිබඳ සතිපතා විකාශය වන සාකච්ඡාමය වැඩසටහනක් රඟසොබා නමින් සතියේ සෑම අඟහරුවාදා දිනයකම රාත්‍රි 7.05 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල ළමා ගුවන් විදුලි නාලිකාව (102.6 fm) ඔස්සේ ගුවන් ගනී. මෙම සාකච්ඡා සඳහා ප්‍රකට කථිකාචාර්යවරුන්, වෙදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයන්, අනුශාංගික ශිල්පීන් හා රංගන ශිල්පීන් සහභාගී වේ.
2008.03.11 සහ 2008.03.18 යන දෙදින පැවැත්වෙන ළමා නාට්‍ය පිළිබඳ සාකච්ඡා වැඩසටහන් සම්පත් දායකයකු වශයෙන් මාද සහභාගී වේ.
මෙම වැඩසටහන් වලට සවන් දීමෙන් ඔබගේ නාට්‍ය හා රංඟ කලාව පිළිබඳ දැණුම ප්‍රසාරණය කරගැනීමට යම් රුකුළක් ලැබේ යැයි මා විශ්වාස කරමී.

Saturday, March 1, 2008

ලංකාවේ වීදී නාට්‍ය කලාව

වීදි නාට්‍ය යනු අද ලෝකයේ මහා ධාරාවේ නාට්‍ය කලාවට විකල්පයක් වශයෙන් බිහි වු ඉතා තීක්ෂණ නාට්‍ය කලාවකි. මෙම නාට්‍ය කලාව ඉතා හොද සන්නිවේදන මාධ්‍යක්ද වෙයි. ලංකාවේ විදී නාට්‍ය ගැන කතා කිරීමට පළමුව අප ලෝක විදී නාට්‍ය කලාවේ ඉතිහාසය ගැන සලකා බලමු.
ලෝක නාට්‍ය කලා‍වේ ආරභය ලෙස සැලකෙන ග්‍රිසියේ මහා දියෝනීසියා උත්සවයද මුලින්ම විදී නාට්‍යමය ලක්ෂණ වලින් අනූනව පැවතුණි.
දියොනීසස් දෙවියා තුටු කිරීම සදහා මොවුන් පැවැත්වු අභිචාර ක්‍රමය ලොව ප්‍රථම නාට්‍යමය අවස්ථාව ලෙස සලකන අතර එය මුලීන්ම පැවැත් වුයේ වීදියේ ගමන් කරමින්ය. මීට අමතරව ලොව ප්‍රථම නළුවා වන තේස්පීස් ද තැන තැන ගොස් තම නාට්‍යමය ජවනිකා පෙන්වු බව සදහන් වෙයි. මෙයින් ගම්‍ය වන්නේ එහි වීදි නාට්‍යමය ලක්ෂණ අන්තර්ගතව පැවති බවයි.
මධ්‍යකාලීන යුරෝපය දෙසට අවධානය යොමු කලහොත් එහිදි මිස්ටරි නම් නාට්‍ය ප්‍රභේදයක් හමුවේ. එය බයිබලයේ කථා ජනතාව අතරට ගෙන යාම සදහා භාවිත කල අතර මෙම නාට්‍ය පෙන්වුයේ රෝද සහිත ජංගම වේදිකාවක් මතය.
එමෙන්ම ඇල්ජීරියාව ප්‍රංශයට යටත්ව පැවති කාලයේ ඇල්බෙයා කැමූ නැමැත්තා කම්කරුවන්ගේ විමුක්තිය සදහා අරගල කිරිමට කම්කරුවන් සහභාගී කරගෙන විදී නාට්‍ය පෙන්වා ඇත. එමෙන්ම අධිරාජ්‍ය විරෝධි අදහස් උදහස් ජනතාව තෙ ගෙන යාම සදහා වියට්නාම ඇමරිකා යුධ සමයේදි වියට්නාමයේ විදී නාට්‍ය බහුලව භාවිත කරන ලදි.
විවිධ අදහස් පදනම් කරගෙන විදී නාට්‍ය බිහිවන බව අප දනිමු. එනම්,

  • දේශපාලන අදහස් ප්‍රචාරණයට
  • පවතින සමාජ තතත්වයන්ට විරොධය පෑමට
  • ආගමික ප්‍රචාරය
  • ජනතාව දැනුවත් කිරීම
ආදි කරුණු මෙයට ඇතුලත් වනු ඇත.

70 දශකයේ මුල් භාගයේ ලංකාව තුල විශාල අර්බූද රැසක් හටගන්නා ලදී. එනම් ආහාර හිඟය, දේශපාලන මතවාද දැරීමේ අයිතිය හා අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතිය සීමා කිරීම ආදිය වේ. මෙම සමාජ, දේශපාලන හා ආර්ථික වටපිටාවට විරෝධය පාමින් 1974 ගාමිණි හත්තට්ටුවේගම මහතා ප්‍රමුඛ විවෘත වීදි නාට්‍ය කණ්ඩායම බිහි‍ වේ. ශ්‍රී ලංකේය වීදී නාට්‍ය කළාවේ පියා ලෙස ද මෙතුමා සලකනු ලැබේ.
මෙම විවෘත වීදී නාට්‍ය කණ්ඩායම යම් දේශපාලනික මතිමතාන්තර ජනතාව වෙත ගෙනයෑමේ අරමුණින් ආරම්භ වූ බව සැලකිය හැකිය. 70 දශකයේ මුල් භාගයේ සියලු ලෝ වැසියන් කම්පා කරමින් ලංකාව තුල අමු අමුවේ තරැණ ජීවිත 60 000 පමණ බිලිගත් මහ තරුණ සංහාරයක් ව්‍යාප්ත කිරීම යම් යම් දේශපාලන පක්ෂ විසින් ආරම්භ කරන ලදී. පසුව එහි වරද ජනතා විමුක්ති පෙරමුණ මත පටවා ඔවුන් අත සෝදා ගෙන පොන්සියුස් පිලාත් චරිතය රඟපාන ලදී.
නමුත් මෙම තත්ත්වයට විරෝධය පලකිරීමක් වශයෙන් මෙම වීදී නාට්‍ය කණ්ඩායම මුල් කාලීනව තම නිර්මාණ කල බව පහත සඳහන් ඔවුන්ගේ නිර්මාණයක ඇතුලත් ගීතයෙන් පැහැදිලි වේ.

ඔබ දුටුවා. මම දුටුවා
ඇසිපිය නොහෙලා ඔබ දුටුවා. මම දුටුවා
අමු අමුවේ ගොඩ ගැසුවා
වල නොදමා පිළිස්සුවා
ඇසිපිය නොහෙලා ඔබ දුටුවා. මම දුටුවා
දැන දැන අපහට නොපෙණි ගියා.......
(ඔබ දුටුවා - ගාමිණි හත්තට්ටුවේගම)

තවද 90 දශකයේ ලංකාව පුරාම වීදී නාට්‍ය සංදර්ශන පවත්වමින් ගමන් කල තවලම විදී නාට්‍ය කණ්ඩායමද මෙහිලා සඳහන් කල යුතුය. ඔවුන්ගේ නිර්මාණ තුලින් කථා කලේ යුද්ධයේ ඇති නිෂ්ඵල බව හා සාමයේ ඇති වටිනා කමයි. මෙම කණ්ඩායමද ලංකාව තුල යම් ප්‍රසිද්ධියක් ලබාගත් බව ප්‍රකාශ කල යුතුය. නමුත් පසුකාලීනව මෙම තත්ත්වය වෙනස් වී ඔවුන් යම් යම් දේශපාලන පක්ෂ සදහා පක්ෂග්‍රාහි බවක් දැක්වු බව දක්නට ලැබේ.
මීට අමතරව විදී නාට්‍ය කන්ඩායම් රැසක්ම ශ්‍රී ලංකේය වීදී නාට්‍ය කළාවේ පෝෂණය සදහා තම දායකත්වය ලබා දෙමින් විවිධ කෙනෙහිලිකම් ඉවසා දරාගෙන නොසැලි තවමත් ක්ෂෙත්‍රය තුළ රැදි සිටි. ඒ අතර විශේෂයෙන් සදහන් කල යුතු කණ්ඩායම් කිහීපයක් මතුවට සදහන් කරමි.
  • කථිකාචාර්ය නන්දන අල්ගේවත්ත මහතා ප්‍රමුඛ දිවැස විදී නාට්‍ය කණ්ඩායම
  • කථිකාචාර්ය අජිත් ක්‍රිෂාන්ත සේරම් මහතා ප්‍රමුඛ බිඟුසර විදී නාට්‍ය කණ්ඩායම
  • ජයලාල් රෝහණ මහතා ප්‍රමුඛ දිරිය කැදැල්ළ විදී නාට්‍ය කණ්ඩායම
  • මූදු රංජිත් සිල්වා මහතා ප්‍රමුඛ ගාලු නඩේ විදී නාට්‍ය කණ්ඩායම
  • මීගමූවේ ධාරණ විදී නාට්‍ය කණ්ඩායම
වීදී නාට්‍ය කලාවේ පෝෂණය උදෙසා ඉතා හොඳ නිර්මාණ කරමින් මෙම කණ්ඩායම් වීදී නාට්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටීම අනාගත පරපුරට ඉමහත් ප්‍රයෝජනවත්වේ යැයි මාගේ අදහසයි.
අවසානයේ කීමට යමක් ඇත. මෙය කීමෙන් සිත රිදෙන බව නම් සැබෑය. යහපත් අපේක්ෂාවක් පෙරටු කරගෙන 1974 හත්තට්ටුවේගම රංගධරයා ඇරඹි ලංකා වීදි නාට්‍ය කලාව නිර්මාණ කරුවන් යැයි කියාගන්නා බඩගෝස්තරවාදීන් අතට පත්කරගෙන විවිධ දේශපාලන පක්ෂවල මඩ ගැසීමේ ව්‍යාපාර සඳහාත් දේශපාලන පක්ෂ සඳහා ප්‍රශස්ති ගායනා කිරීමටත් රාජ්‍ය නොවන සංවිධානවල අප රටට අහිතකර සැඟවුනු අරමුණු ඉටුකර ගැනීමට රුකුල් දෙමිනුත් මෙම කලාව කාබාසිනියා කිරිමට උත්සහ ගන්නා බව නම් නොරහසකි. මෙවුන් මෙම සියල්ල සිදු කරන්නේ මුදලට ගිජුවය. කෙටියෙන් කියතොත් මෙම බඩගෝස්තරවාදී අපේ රටේ වීදී නාට්‍ය කලාව අභිවාරිකාරිකාවකග තත්ත්වයකට පත්කර ඇත. නමුත් සැබැ වීදී නාට්‍ය කරුවා නම් තම ජීවිතය පවා පරදුවට තබමින් සැබෑ ජනතාවාදී වීදී නාට්‍ය කලාව රැකගැනීමට උත්සාහ කරන පුද්ගලයායි.
ඉඳින් සහෘදය විදී නාට්‍ය ක්ෂේත්‍රයේ වර්තමානයේ රැ‍‍ඳෙන පරපුරත් අනාගතයේ බිහිවෙන පරපුරත් වීදී නාට්‍ය කලාවේ සැබැ අරුත හොඳින් තොරා බේරා ගෙන මුදලට වහල් නොවී නිර්මාණකරණයේ යෙදෙන්නේ නම් එය ඔබටත් මටත් අපේ රටටත් මුළු මහත් වීදී නාට්‍ය කලාවටත් කරන මහඟු සේවයක් වනවාට කිසිම සැකයක් නැත.

Saturday, February 16, 2008

අනේ අපේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල

ශ්‍රී ලංකාවේ ස්වභාවය කුමක්දැයි විදේශිකයකුගෙන් විමසුවහොත් බොහෝ දුරට ලැබෙන පිළිතුර වන්නේ ආගන්තුක සත්කාර දන්නා බොහෝ සුහදශීලි මානුෂීය සමාජයක් ඇති රටක් ලෙසය. මේ අප රටේ හොඳ පැත්තය. අනෙක් පැත්ත නම් ශ්‍රී ලංකාව යනු සට කපට මිනිසුන් වෙසෙන දූෂණයෙන් පිරුණු අසාධාරණය රජ කරන රටක් බවයි. අපේ වාසනාවට හෝ අවාසනාවට අප රට තුලද සෞන්දර්යය, කලාව යැයි යමක් ඉතිරිව පවතින බව අප දනිමු. නමුත් සහෘදය මෙහි ඛේදවාචකය නම් මෙම කලාවන් තුලටද ඉහත දෙවන පාර්ශවයෙහිලා මා සඳහන් කල දූෂණය හා අසාධාරණය යන පිළිලයන් එකසේ පැතිරී තිබීමයි.

ඔබ අප දන්නා අන්දමට අප රටේ කුඩා ළමුන් වෙනුවෙන් ඉදි වූ රංග ශාලා හෝ රංග පාසැල් නොමැත. නමුත් දරුවන්ගේ සෞන්දර්යාත්මක පාර්ශවය සංවර්ධනය කිරීම උදෙසා හා ළමයාගේ දැණුම, ආකල්ප හා කුසලතා යන අංග තුන සංවර්ධනය කිරීම සඳහා ද යම් රුකුලක් ලබා දීමට අපේක්ෂා කරමින් චන්ද්‍රසේන දසනායක මහතා අප රට තුල රාජ්‍ය ළමා නාට්‍ය උළෙල යැයි වර්ෂයක් පාසා පැවැත්වෙන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ඇරඹීය. චන්ද්‍රසේන දසනායක මහතා අපේක්ෂා කල ඒ උතුම් අපේක්ෂාව පළුදු වන යම් යම් නොමනා ලක්ෂණ ළමා නාට්‍ය උළෙල තුල මතුවී ඇත.

රාජ්‍ය ළමා නාට්‍ය උළලේ විවෘත අංශය හා සීමිත අංශය යනුවෙන් තරග අංශ දෙකක් පැවැත්වෙන අතර එයින් සීමිත අංශය සඳහා ඉදිරිපත් විය හැක්කේ පාසැලේම ගුරුභවතෙකු හෝ ශිෂ්‍යයකු විසින් නිර්මාණය කරන ලද නාට්‍යය පමණි. මෙම අංශයෙන් අවසන් වටය කරා පැමිණෙන ඉතා දුෂ්කර පාසැල් වල අහිංසක දුප්පත් දුවාදරුවන්ට නිසි ඇගයීමක් ලැබෙනවා ද යන්න පෙහෙලිකාවකි. බලංගොඩ, අනුරාධපුරය, දෙහිඅත්තකන්ඩිය, මාතර වැනි දුෂ්කර ප්‍රදේශ වල පාසැල් වලින් පැමිණෙන නාට්‍ය නිර්මාණකරුවන් තම නිර්මාණය අවසන් වටය දක්වා ගෙන ඒමට අපමණ වෙහෙසක් දරයි. ඒවා අවසන් වටය තෙක් පැමිණිමද භාග්‍යක් යැයි මම සිතමී.

මෙවැනි දුෂ්කර ප්‍රදේශවල සහෘද නිර්මාණකරුවන්, පාසැල් ප්‍රජාව හා දූ දරුවන් තම ස්වකීය නිර්මාණය උස් මහත් කර ගන්නට දහදිය, කඳුළු, ලේ අනන්තව හෙලනු ලබයි. ආර්ථික අතින් වැඩි සක්‍යතාවක් නොමැති හේන් වගාවෙන් හෝ වෙනත් කිසියම් ක්‍රමයකින් එදාවේල සරිකර ගැනීමට මහත් වෙහෙසක් දරණ දෙමාපියන්ගේ දරුවන් වන මොවුන් කෙසේ හෝ උස් මහත් කරගෙන කොළඹ පවත්වන අවසන් වටයට ගෙන ආ තම නාට්‍යයට තරඟ වදින්නට වන්නේ නගරයේ ජනඃප්‍රිය පාසැල් සමගයි.

දුෂ්කර පලාත්වල නිර්මාණ කරුවන් අති දුෂ්කරතා වලට මුහුන දෙමින් නිර්මාණ කරන නමුත් නගරයේ ජනඃප්‍රිය පාසැලේ මීට හාත්පසින්ම වෙනස් ක්‍රියාලියක් සිදුවේ. බොහෝ ජනඃප්‍රිය පාසැල්වල නිර්මාණාත්මක මනසක් ඇති නිර්මාණ කරුවන් විරල ය. එබැවින් ඔවුන් සිදු කරන්නේ තම සම්බන්ධතා මගින් නාට්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීන පළපුරුදු අත්දැකීම් බහුල නිර්මාණ කරුවන් මුදලට ගෙන ඔවුන් ලවා නාට්‍ය නිෂ්පාදනය කර තම පාසැල නමින් තම පාසැල නියොජනය කරමින් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට ඉදිරිපත් කිරීමයි. අපේ රටේ අති උතුම් යැයි කියාගන්නා කලාකරුවෝ ද මෙම කුප්‍රකට ක්‍රියාවලිය හමුවේ මුදලට විකිණෙන තත්ත්වයක් දැන් දැන් උද්ගත වෙමින් පවති. ගම්පහ දිස්ත්‍රිකයේ මීගමුවට ආසන්න ජනඃප්‍රිය බාලිකා පාසැලක සෑම වර්ෂයක් පාසාම රාජ්‍ය ළමා නාට්‍යය උළෙල සඳහා ඉදිරිපත් වීමේදී මෙම කුප්‍රකට ක්‍රියාවලිය සිදුවෙමින් පැවතීම මෙයට එක් නිදසුනකි. අවසානයේ දී දුක් කම් කටළු මැදින් කොළඹට ආ නාට්‍යයත් මුදලේ බලයෙන් නිපදවූ නාට්‍යයත් එකම වේදිකාවක එකම අංශය නියෝජනය කරමින් තරඟ වදියි. මුදලේ අරුමෝසමින් හැඩවු නාට්‍යය දකින විනි‍ශ්චය මණ්ඩලය යම්කිසි විපර්යාසයකට ලක්වන බව ද නොරහසකි. මෙහිදී සිදුවන්නේ මුදලේ බලයෙන් ප්‍රවීණයන් ලවා නාට්‍යය නිෂ්පාදනය කරවාගත් ජනඃප්‍රිය පාසැල් සම්මාන තමන් සතුකර ගැනීමත් අන්ත දුක් පීඩා මැදින් සැබැ නිර්මාණයක් කල දුෂ්කර පාසැල් වල අහිංසක දුප්පත් දූදරුවන් ඇතුළු ගුරුභවතුන්ට සෝ සුසුම් පමණක් හිමි වීමය.

මෙයද අපේ දරුවන් සඳහා ඇති රාජ්‍ය ළමා නාට්‍ය උළෙල?

Saturday, February 2, 2008

වේදිකාවේ ජීවය

මම නාට්‍ය හා රංඟ කලාව පිළිබඳ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව (විද්‍යා පීඨ පුහුණුව) ලබා ඇති ගුරුවරයකි. නව විෂය නිර්දේශය යටතේ නාට්‍ය හා රංග කලාව 6 ශ්‍රේණියේ සිට නිර්දේශ ගත කොට ඇත. නමුත් දැනුම පිපාසාවෙන් පෙළෙන සුවහසක් දරු දැරියන්ගේ පිසාසාව සංසිදුවා ගැනීම සඳහා සිංහල බසින් ප්‍රමාණවත් සහ නිවැරදි මූලාශ්‍ර ඇත්තේ අතොලොස්සක් පමණි. එබැවින් එම දැනුම පිපාසාව සංසිදුවීම සඳහා සිංහල බසින් යම් රුකුලක් ලබා දීමට මෙයින් අපෙක්ෂා කරමී. නමුත් පාසල් සිසුන් සඳහා පමණක්ම නොව, නාට්‍ය හා රංඟ කලා ක්ශේත්‍රය පිළිබඳ ඇල්මක් දක්වන සියලු සහෘදයින්ට ද මෙය තෝතැන්නක් බවට පත් කිරිමට ද අපේක්ෂා කරමී.